‘යූත් ක්ලබ්’ ජාතික තරුණ සමුළුව ඊයේ (12) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
සමුළුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ නව දේශපාලන පරිවර්තනය සමඟ මෙරට තරුණ ව්‍යාපාරය තවදුරටත් දේශපාලන අතකොළුවක් බවට පත් නොවී, රටේ අනාගතය භාර ගැනීමට සිටින නියමුවන් බිහි කරන ව්‍යාපාරයක් බවට පරිවර්තනයවී ඇති බවයි.
තම දේශපාලන බලය ආරක්ෂා කර ගැනීමේ කොටස්කරුවන් ලෙස නොව, තරුණ පරපුරට හිමි තැන ලබා දෙමින්, සිය අනාගතය තීරණය කිරීමේ ශක්තිය ඇති තරුණ ප්‍රජාවක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව පැවසූ ජනාධිපතිවරයා, තරුණ තරුණියන් මෙරට සංවර්ධන මාවතේ නියමුවන් සහ කොටස්කරුවන් බවට පත් කෙරෙන වැඩසටහන තරුණ ව්‍යාපාරය මඟින් ආරම්භ කිරීමට සූදානම් බවද එහිදී අවධාරණය කළා.
මෙවර ජාතික තරුණ සමුළුව පැවැත්වුණේ වසර 32කට පසුව වීම විශේෂත්වයක් වන අතර, දිවයින පුරා තරුණ තරුණියන් 6000කට අධික පිරිසක් ඊට එක්ව සිටියා.
ජාතික තරුණ සමුළුවට පෙර රට පුරා ප්‍රාදේශීය මට්ටමින් “Youth Club” පිහිටුවීම ආරම්භ කළ අතර, ඊයේ පැවති ජාතික සමුළුවේදී නව නිලධාරී මණ්ඩලය හඳුන්වා දීමද සිදු කෙරුණා.
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, විදෙස් තානාපතිවරු, රාජ්‍ය නිලධාරීන් ඇතුළු ආරාධිතයින් පිරිසක්ද, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුපුන් විජේරත්න මහතා ඇතුළු නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
