weather forcast

දවසේ කාලගුණ අනාවැකිය – 2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා

හෙට(14)  දිනයේ දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනව‍ා.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

n-youth

‘යූත් ක්ලබ්’ ජාතික තරුණ සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

‘යූත් ක්ලබ්’ ජාතික තරුණ සමුළුව ඊයේ (12) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

සමුළුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ නව දේශපාලන පරිවර්තනය සමඟ මෙරට තරුණ ව්‍යාපාරය තවදුරටත් දේශපාලන අතකොළුවක් බවට පත් නොවී, රටේ අනාගතය භාර ගැනීමට සිටින නියමුවන් බිහි කරන ව්‍යාපාරයක් බවට පරිවර්තනයවී ඇති බවයි.

තම දේශපාලන බලය ආරක්ෂා කර ගැනීමේ කොටස්කරුවන් ලෙස නොව, තරුණ පරපුරට හිමි තැන ලබා දෙමින්, සිය අනාගතය තීරණය කිරීමේ ශක්තිය ඇති තරුණ ප්‍රජාවක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව පැවසූ ජනාධිපතිවරයා, තරුණ තරුණියන් මෙරට සංවර්ධන මාවතේ නියමුවන් සහ කොටස්කරුවන් බවට පත් කෙරෙන වැඩසටහන තරුණ ව්‍යාපාරය මඟින් ආරම්භ කිරීමට සූදානම් බවද එහිදී අවධාරණය කළා.

මෙවර ජාතික තරුණ සමුළුව පැවැත්වුණේ වසර 32කට පසුව වීම විශේෂත්වයක් වන අතර, දිවයින පුරා තරුණ තරුණියන් 6000කට අධික පිරිසක් ඊට එක්ව සිටියා.

ජාතික තරුණ සමුළුවට පෙර රට පුරා ප්‍රාදේශීය මට්ටමින් “Youth Club” පිහිටුවීම ආරම්භ කළ අතර, ඊයේ පැවති ජාතික සමුළුවේදී නව නිලධාරී මණ්ඩලය හඳුන්වා දීමද සිදු‍ කෙරුණා.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, විදෙස් තානාපතිවරු, රාජ්‍ය නිලධාරීන් ඇතුළු ආරාධිතයින් පිරිසක්ද, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුපුන් විජේරත්න මහතා ඇතුළු නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.