images

දරුවන් අතර මී උණ රෝගය පැතිරීමේ වැඩිවීමක්

මාරාන්තික මී උණ රෝගය මේ දිනවල යළිත් ව්‍යාප්ත වෙමින් තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා අද (11) පෙරවරුවේ පැවති  මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරත් සඳහන් කළේ, ම‍ඩේ බැසීමෙන් මී උණ රෝගය වැඩි වශයෙන් වැළඳෙන බවයි.

මේ දිනවල පාසල් නිවාඩු කාලය බැවින් සරුංගල් යැවීම සඳහා වෙල්යායන් කරා යාම දරුවන් අතර මී උණ රෝගය ව්‍යාප්තවීම වැඩිවීමට ප්‍රධාන හේතුවක්වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මී උණ රෝගය

මී උණ හෙවත් ලෙප්ටෝස්පයිරෝසිස් (leptospirosis) රෝගය මීයන්, ගවයන්, මී ගවයන් වැනි සතුන්ගෙන් මිනිසාට බෝවිය හැකි රෝගී තත්ත්වයක්. මෙම රෝගය වෙල් උණ,පතල් උණ යන නම් වලින්ද හඳුන්වනු ලබනවා.

මෙය leptospirainterrogans නමැති බැක්ටීරියාව ආසාදනය වීමෙන් හටගන්නා රෝගයක්.

මීයන් ,ගවයන්, මී ගවයන් වැනි සතුන්ගේ ශරීරයේ පවතින මෙම බැක්ටීරියාව එම සතුන්ගේ මූත්‍රා මගින් ජලයට එකතු වනවා. කුඹුරු, දියකඩිති, ඇළ මාර්ග, කාණු, පතල් ආදී ස්ථාන වල ජලයට මෙම බැක්ටීරියාව එකතුවී රැඳී තිබිය හැකියි.

පුද්ගලයෙකුගේ ශරීරයේ ඇති කැපීම්, සීරීම්, තුවාල හෝ ඇස් සහ මුඛය හරහාද මෙම බැක්ටීරියාව සිරුරට ඇතුළු වනවා.

රෝග ලක්ෂණ

සාමාන්‍යයෙන් මෙම බැක්ටීරියාව ශරීරගතවී දින 02ත් 14ත් අතර කාලය තුළදී රෝග ලක්ෂණ මතුවිය හැකියි.

උණ, මස්පිඩු වේදනාව, ඇස් රතුවීම, හිසරදය, මුත්‍රා කහ පැහැවීම, මුත්‍රා යාම අඩුවීම, වමනය, සිරුරේ අප්‍රාණිකත්වය ආදී රෝග ලක්ෂණ දැකගත හැකියි.

මෙම මී උණ රෝගී තත්ත්වය සුව කරගැනීමට වෛද්‍ය ප්‍රතිකාර තිබෙන අතර නිසි කලට නොපමාව ප්‍රතිකාර නෙ‍ාකළහොත් රෝගය උත්සන්නවී මරණය පවා සිදු විය හැකි බැවින් රෝගය ශරීරගතවීම වළක්වාගැනීමට කටයුතු කිරීමත්, රෝග ලක්ෂණ ඇත්නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම ඉතා වැදගත්.

Tags: No tags

Add a Comment

Your email address will not be published. Required fields are marked *